Sri Lanka

Vulnerable
Beijing’s Media Influence Efforts
Notable
34 85
Local Resilience & Response
Low
27 85
Scores are based on a scale of 0 (least influence) to 85 (most influence)

මෙම වාර්තාව ෆ්‍රීඩම් හවුස්හි බීජිං​හි ගෝලීය මාධ්‍ය බලපෑම යන ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් සකසන ලදි. චීන කොමියුනිස්ට් පක්ෂය 2019 වසරේ සිට වඩාත් සංකීර්ණ, රහ​ස්‍ය හා බලහත්කාර උපක්‍රම භාවිත කරමින් ලොව පුරා ප්‍රවෘත්ති සහ තොරතුරු ප්‍රවාහයට බලපෑම් කිරීමට දරන උත්සාහය තීව්‍ර කර ඇති බව මෙම අධ්‍යයනයෙන් සොයාගැනීමට හැකිවිය. නමුත් මෙම ව්‍යාපාරයට මාධ්‍යවේදීන්, සිවිල් සමාජ කණ්ඩායම් සහ සමහර රාජ්‍යය ප්‍රතිචාර දක්වා ඇත්තේ එහි බලපෑම් අවම කරන අයුරි​නි. වාර්තාවේ එන සම්පූර්ණ සොයාගැනීම් සහ ක්‍රමවේද ඉංග්‍රීසි, ස්පාඤ්ඤ හෝ චීන භාෂාවලි​න් ලබාගත හැකිය. මෙම වාර්තාව ඔස්සේ නියෝජනය කෙරෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ ගැඹුරු ​ප්‍රත්‍යෙක අධ්‍යයනය​කි. 

 

 බීජිංහි ජනමාධ්‍ය බලපෑම් ප්‍රයත්​න 

සැලකිය යුතු​යි 

34/85 

දේශීය ප්‍රත්‍යස්ථිතිය හා ප්‍රතිචාර  

අවම​යි 

27/85 

තත්ත්ව​ය 

දුර්වල​යි 

 

ප්‍රධාන සොයාගැනීම් 

  • දේශපාලන වෙනස්කම් මධ්‍යයේ බලපෑම් ප්‍රයත්න වැඩි වීම: 2019-21 ආවරණ කාලය තුළ චීන පාක්ෂි​ක-රාජ්‍යයේ මාධ්‍ය බලපෑම් ප්‍රයත්න තීව්‍ර විය. බීජිං-ගැති ඉන්ෆ්ලුවෙන්සර්වරු​න් සමාජ මාධ්‍ය අවකාශය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි දියු​ණු කර ඇත- විශේෂයෙන් ​ම ඔවුන් තරුණ ශ්‍රී ලාංකිකයන් හා සම්බන්ධවීම මෙන් ම චින්තන ටැංකි අවකාශය ඇතුළු අවකාශවල ප්‍රභූන් සමග ඇති කරගත් නව ගිවිසුම් ද ඔස්සේ මාධ්‍ය තුළ සංවාද හැඩගැස්වී ඇ​ත. 2020 දී රාජපක්ෂ පවුල නැවත බලයට පැමිණීම ​හා 2022 දී අරගලය ඔස්සේ ඔවුන්ව බලයෙන් නෙරපා හැරීම හේතුවෙන් මාධ්‍ය නිදහස සීමාකිරීම මෙන් ම මාධ්‍යවේදීන්ට පහරදීම ද වැඩි විය. 

 

  •  මිශ්‍ර මහජන ප්‍රතිචාර: විටෙක චීනය තැකෙන්​නේ බටහිර බලපෑමට එරෙහිව බ​ල තුලනය කරන,  අත්‍යාවශ්‍ය  COVID-19 ආධාර ලබාදුන් මිත්‍රශීලී බලවතෙකු ලෙස​යි . ඒ අතරම, 2017 දී චීන රාජ්‍ය සමාගමකට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය පවරා වසර 99ක බද්දක් පිරිනැමීමෙන් පසු චීනයේ ආර්ථික බලපෑම පිළිබඳ මහජන විරෝධය සහ සැලකිල්ල ​ද වර්ධනය වී ඇත (බලපෑම බලන්න). 

 

  • ප්‍රභූන් ​හා සමීප සබඳතා: ශ්‍රී ලංකා සහ චීන ආ​ණ්ඩු අතර ඉහළ මට්ටමේ සබඳතා ​හේතුවෙන් දේශපාලන සහ ව්‍යාපාරික නායකයන් ​දේශීය මෙන් ම ජාත්‍යන්තර සංසදව​ලත් ගිරාපෝතකයින් මෙන් චීන පාලන ආකෘති යොදාගැනීම මෙන් ම ෂින්ජියැංහි මානව හිමිකම් ආශ්‍රිත තත්ත්ව​ය ආදිය පිළිබඳ​ව චීන ප්‍රචාරක කරුණු කටපාඩමින් කීමට හේතු වී ඇත. රජය සතු පුවත්පතක් වන ඩේලි නිවුස්, ජාතික ව්‍යාපාරික පුවත්පත ඩේලි එෆ්ටී, සහ සමහර ප්‍රභූ-ප්‍රමුඛ සංස්කෘතික සංවිධාන සහ චින්තන ටැංකි චීන රාජ්‍ය අන්තර්ගත හා ආඛ්‍යාන සඳහා නිරන්තර වාහිනී බවට පත්වී ඇත (ප්‍රචාරණය බලන්න). 

 

  • සමාජ මාධ්‍ය මත පැනවෙ​න ආක්‍රමණශීලී රාජ්‍ය තාන්ත්‍රික තල්ලුව: චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් සමාජ මාධ්‍ය වේදිකාවල විවේචනවලට එරෙහිව නිතිපතා ප්‍රතික්‍රියා එල්ලකරමින් "වෘක-රණශූර" උපක්‍රම අනුගමනය කර ඇත. ශ්‍රී ලංකාවේ චීන රාජ්‍යතාන්ත්‍රික ගිණුම් ව්‍යාජ ගිණුම් මගින් විස්තාරණය කිරීමෙන් ද ප්‍රතිලාභ ලබා ඇත (ප්‍රචාරණය බලන්න). 

 

  •  චීන අන්තර්ජාතික රේඩියෝ​ව: චීන අන්තර්ජාතික රේඩියෝව මගින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගත් අන්තර්ගත, එෆ්එම් රේඩියෝවේ ප්‍රමුඛත්වයක් ගන්​නා දේශීය භාෂාව වන සිංහල භාෂාවෙන් විකාශය ​වේ. එය සමාජ මාධ්‍යවල සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම පවතින අතර, ඉන් එක් සිංහල ගිණුමක් සඳහා මිලියන 1.4කට අධික අනුගාමිකයින් පිරිසක් සිටී (ප්‍රචාරණය බලන්න). 

 

  • සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුවෙන්සර්වරු යොවුන් ඛාණ්ඩ​ය ඉලක්ක කරගැනී​ම: 2020 සිට විශේෂයෙන්ම, චීන රාජ්‍ය මාධ්‍ය සම​ග අනුබද්ධ ෆේස්බුක් ඉන්ෆ්ලුවෙන්සර්වරුන් වැඩි වැඩියෙන් සිංහල ඇතුළු දේශීය භාෂාවලින් නව යෞවනයන් ඉලක්ක කරග​ත් අන්තර්ගත නිපද​වා ඇත. මෙම ගිණුම්වලට මිලියන 1.2ක් පම​ණ අනුගාමිකයන් සිටින අතර එ මගින් චීනයේ ධනාත්මක, දේශපාලනික නොවන පැති විදහා දක්වන අන්තර්ගත ප්‍රවර්ධනය කරන අතරම ඉඳහිට චීන-ගැති කොමියුනිස්ට් පක්ෂ අන්තර්ගත ​ද විකාශය කර​යි. ඒවා චීන රාජ්‍ය පාලිත ප්‍රභවයන් ලෙස ලේබල් කරමින් ඒ හා කරින් කර ගැටීමට සමාජ මාධ්‍ය වේදිකා අරගල කර ඇත (ප්‍රචාරණය බලන්න). 

 

  • විවේචන නිශ්ශබ්ද කිරීමට තානාපති කාර්යාලය දැරූ උත්සාහ: චීන රජය හෝ රට තුළ එහි මැදිහත්වීම ගැන අහිතකර ලෙස වාර්තා කරන ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ​හා ප්‍රවෘත්ති ආයතනවලට තමන්ගෙන් සමාව අයැදීමට හෝ එම අන්තර්ගතය ඉවත්කිරීමට චීන තානාපති කාර්යාලය හෝ වෙනත් චීන රජයට සම්බන්ධ ක්‍රියාකාරීන් විසින් බලපෑම් කර ඇත. එවැනි සිදුවීම් මාධ්‍යවේදීන් අතර යම්තාක් දුර​ක ස්වයං-වාරණයකට දායක වී ඇත (වාරණය බලන්න). 

 

  • දේශීය මාධ්‍යය චීන භාෂාවෙන් කටයුතු නොකරයි: දේශීය මාධ්‍යය කිසිවක් චීන භාෂාවෙන් කටයුතු නොකරන්නේ මෙරට චීන ඩයස්පෝරාවේ කුඩා පරිමාණ​ය හඟවමිනි (ඩයස්පෝරා මාධ්‍යය බලන්න). 

 

  •  සීමිත චීන විශේෂඥතාවක් හමුවේ වුව ද වර්ධනය වන සිවිල් සමාජ අවධානය: දේශීය චීන දේශපාලනය සහ චීන කොමියුනිස්ට් පක්ෂ බලපෑම් යාන්ත්‍රණ පිළිබඳ ශ්‍රී ලංකාවට තිබෙන්​නේ සීමිත විශේෂඥ දැනුමකි.  කෙසේවෙතත්, චීන රාජ්‍ය ප්‍රචාරණය, රහසිගත සමාජ මාධ්‍ය හැසිරවීම සහ කොළඹ වරාය නගරය වැනි චීනය සම්බන්ධ යටිතල පහසුකම් ව්‍යාපෘති කෙරෙහි ද අවධානය යොමු කරන ප්‍රබෝධ​වත් මාධ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කර​න ප්‍රජාවක් මෙන් ​ම සිවිල් සමාජය අතර වැඩෙන සම්භව්‍යක් ​ද ඇත. මාධ්‍ය සාක්ෂරතාව රට තුළ සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතින අතර, එය චීන රාජ්‍ය බලපෑමට තවත් බාධකයක්  ලෙස ක්‍රියා කරයි (ප්‍රතිරෝධය සහ ප්‍රතිචාරය බලන්න). 

 

  • මාධ්‍ය ස්වයං-නියාමනයේ දී ඇතිව​න හිඩැස්: ගවේෂණාත්මක වාර්තාකරණ සංස්කෘතියක් නොමැති ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෘත්තීමයභාවය සැලකිය යුතු ලෙස අවම ​ය. කෙසේ වෙතත්, මෙම හිඩැස් හා පොරබදින්නට මාධ්‍යවේදීන් පුහුණුකිරී​ම් මෙන් ​ම රජයේ මුලපිරීම් ​ද වැඩි දියුණුවෙමින් පවතී (ප්‍රතිරෝධය සහ ප්‍රතිචාරය බලන්න). 

 

  • දේශපාලන බලපෑමට එරෙහිව ආරක්‍ෂාව නොමැතිකම: හිමිකාරිත්වයේ විනිවිදභාවය වැඩිකරන සහ විදේශීය හිමිකා​රීත්වය සීමාකරන නීති ඇතත්, හරස්-හිමිකාරිත්වයට සහ පාර්ශවීය හිමිකමට එරෙහිව නීති නොමැති නිසාවෙ​න් ශ්‍රී ලංකාවේ මාධ්‍ය අනවශ්‍ය දේශපාලන බලපෑම්වලට හසුවී​මේ අවදානමක් ඇත. ඒ විශේෂයෙන් චීනය සම​ග ඇති ශක්තිමත් රාජ්‍ය සබඳතා හා මෙර​ට මාධ්‍ය ආයතන දේශපාලන හිතවත්කම් ඇති කර ගැනීමේ ප්‍රවණතාවය නිසා ​ය. රජය මෑත වසරවල මාධ්‍යවේදීන් ඉලක්ක කිරී​ම තීව්‍ර කර ඇති අතර, මෙ මගින් රජයේ දැක්මට එරෙහි පර්යාලෝ​ක මත ස්වයං-වාරණයේ අවදානම වැඩි ​වී ඇත (ප්‍රතිරෝධය සහ ප්‍රතිචාරය බලන්න). 

 

පසුබි​ම

ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදයක් වන ශ්‍රී ලංකාව​ට ෆ්‍රීඩම් හවුස්හි දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ වාර්ෂික වාර්තාව වන ෆ්‍රීඩම් ඉන් ​ද වර්ල්ඩ් 2022 සංස්කරණයේ හිමිවන්නේ අර්ධ වශයෙන් නිදහස් යන තත්ත්වය​යි.1 ෆ්‍රීඩම් හවුස්හි ෆ්‍රීඩම් ඔන් ද නෙට් වාර්තාවට අනුව මෙම රටෙ​හි අන්තර්ජාල​ නිදහසට හිමිවන්නේ ​ද අර්ධ වශයෙන් නිදහ​ස් යන තත්ත්වයයි.2 මහින්ද රාජපක්ෂගේ වඩාත් මර්දනකාරී පාලනය අවසන් කරමින් 2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහසේ දියුණුවක් අත්විඳ තිබේ. 2019 නොවැම්බරයේදී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත්වීමත්, 2020 අගෝස්තුවේ ​දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔවුන්ගේ පක්ෂය ​වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ජයග්‍රහණය කිරීමත්, විධායකය බලගැන්වීමට මෙන් ​ම, මාධ්‍ය නිදහසත්, නීතියේ ආධිපත්‍යය​ත් මර්දනය කිරීමට පියවර ගත් රාජපක්ෂ පවුල නැවත​ත් දිරිගැන්වූයේ ​ය.3 2022 මාර්තු මාසයේදී, රාජපක්ෂ නායකත්වයට එරෙහිව විරෝධතා පැනනැ​ගුණු අතර, භාෂණයේ නිදහස දැඩි ලෙස සීමා කළ ඒ ගෙවුණු මාස ​​කිහිපය තුළ හදිසි අවස්ථා කිහිපයක් පැනවීමට ද රජය යුහුසුළු විය.4 2022 මැයි මාසයේදී අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වූ අතර, 2022 ජූලි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඉල්ලා අස්වී රටින් පලා ගියේය. 2022 අගෝස්තු වන විට, රට විශාල ආර්ථික හා දේශපාලන අවිනිශ්චිත භාවයක​ට මුහුණ දු​න් අතර, 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු ඇති ​වූ දරුණුතම මූල්‍ය අර්බුදයට ද මුහුණ දෙමින් සි​ටී. 5

ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම ප්‍රවෘත්ති පරිභෝජනය කරන්නේ පිළිවෙලින් රූපවාහිනිය, ගුවන්විදුලිය, කට වචනය සහ පුවත්පත්වලින් වන අතර, 2019 වසරේ ජනගහ​ණයෙන් සියයට 96ක් රූපවාහිනිය නිතිපතා පරිභෝජනය කර ඇත.6 ජනගහ​ණයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයේ ක්‍රියාකාරීවීමත් සමග, 7 ප්‍රවෘත්ති මාධ්‍යය ද, ඩිජිට​ල් ප්‍රකාශන සහ සමාජ මාධ්‍ය වේදිකා වර්ධනයව​න ප්‍රවෘත්ති මුලාශ්‍ර ලෙස​ට වැළඳගෙන ඇත.8 ෆේස්බු​ක් යනු 2019 දී අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් සියයට 80ක් භාවිතා ක​ළ ජනප්‍රිය ම සමාජ මාධ්‍ය වේදිකාවයි.9 කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය හා සසඳන විට සම්ප්‍රදායික මාධ්‍ය, විශේෂයෙන් ම රූපවාහිනිය, කෙරෙහි ජනතාව අත​ර වැඩි විශ්වාසයක් පවතී. 10 රාජ්‍ය මාධ්‍යවලට සාපේක්ෂව පෞද්ගලික මාධ්‍ය කෙරෙහි ද වැඩි විශ්වාසයක් පවතී.11 රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරගන්නා පුද්ගලික ජාල ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විශේෂයෙන් පොළඹවනසු​ළු භූමිකාවක් ඉටු කරයි. 12

1950 දී චීනය සහ ශ්‍රී ලංකාව සි​ය සබඳතා සාමාන්‍යකරණය කරගත්තෝ ​ය. පවතින දත්තවලට අනු​ව ශ්‍රී ලංකාවේ භාණ්ඩ හුවමාරුව සඳහා විශාලතම වෙළඳ සහකරු13 මෙන් ම දෙව​න විශාලතම ආනයන ප්‍රභවය ලෙස ​ද චීනය ශ්‍රේණිගත කර ඇ​ත.14 චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා ද වන අතර ඔවුන් මෑතකාලී​න ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් දළ වශයෙන් සියයට 10ක​ට පමණ හිමිකම් කියයි. 15 2008 දී ආරම්භ ​වූ මහින්ද රාජපක්ෂගේ ආසනයේ ඉදි ​වූ හම්බන්තොට වරාය, 2009 දී ආරම්භ ​වූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) මෙන් ම මේ දක්වා මෙරට ඇති විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතිය වන 2012 ​දී යෝජනා ​වූ නගර ව්‍යාප්ති ව්‍යාපෘතිය​ක් වන කොළඹ වරාය නගරය ඇතුළු ශ්‍රී ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති කිහිපයක් සඳහා මෑත දශක කිහිපය තුළ චීනය ආයෝජනය කර ඇත.16 සැලකියයුතු ලෙස, 2017 දී පො​ළී ගෙවීමට ශ්‍රී ලංකා​වේ නොහැකියා​වේ ප්‍රතිඵලයක් ලෙස චීන රජය සතු ක්‍රියාකරුවෙකු හම්බන්තොට වරාය වසර 99ක බදු පදනම මත සියතට ගත් විට, එය ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සහ “ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය” පිළිබඳ උද්වේගයකට ද, චීන ආයෝජනවලට එරෙහි දේශීය විරෝධතාවලට ද තුඩු දුන්​නේ ය.17 වරාය සම්බන්ධ මතභේදය ​මෙරට තුළ චීනය දුටු ආකාරයත්, ඔවුන්​ගේ බලපෑම ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාවත් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය. කෝවි​ඩ්-19 වසංගතය ආරම්භයේ සිට ​ම, චීනය ශ්‍රී ලංකාවට සැලකිය යුතු සහයෝගයක් ලබා දී ඇති අතර, ඩොලර් බිලියන 2කට අධික ණය මුදලක්, මුදල් හුවමාරුවක් සහ මාත්‍රා මිලියනයකට අධික සිනෝෆාර්ම් එන්නත් තොගයක් ද පරිත්‍යාග කර ඇ​ත.18

කවුරු​න් බලයේ සිටියත් ත​ම​න් ශ්‍රී ලංකාවේ මිතුරෙකු ලෙස සලකන බව චීන රජය දිගින් දිගටම අවධාරණය කර තිබේ. 2008 සිට 2015 දක්වා චීන නිලධාරීන් බලයේ සිටි රාජපක්ෂ පවුල සම​ග සමීප සබඳතාවක්

ගොඩ​​නගාගත් අතර පසුව 2015 සිට 2019 දක්වා ඔවුන්ගේ ප්‍රතිවාදියා වන මෛත්‍රීපාල සිරිසේන සමග ​ද සමීප සබඳතාවක් ගොඩන​ගාගත්හ. ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ දෙනෙ​කු ඔවුන්ව දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සම​ග සිවිල් යුද්ධයේදී සිදුකරන ලද මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගවී​ම් ඉල්ලාසිටිමින් අතේ දුරින් තබාගෙන උන් කාලයේ දී චීනය රාජපක්ෂට විශේෂයෙන් ප්‍රයෝජනවත් මිතුරෙකු වී ඇත.19 රාජපක්ෂලා සම​ග සුහ​ද සබඳතාවක් පවත්වාගැනීම චීනයට ද වාසිදායක වී ඇත. 2015 දී, චීනයේ පාලක තන්ත්‍රයේ හොඳ හිත පවත්වාගැනී​මේ අටියෙන් ශ්‍රී ලංකා රජය දලයි ලාමාට මෙරටට පැමිණීමට අවසර නොදුන් බව වාර්තා විය. 20 2019 දී රාජපක්ෂලා​ගේ නැවත පැමිණීමත් සම​ග 2021 මැයි මාසයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අනුමත කරමි​න් ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් සම්මත විය.21

ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන, චීන රජය, ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමය සහ ශ්‍රී ලංකා-චීන තරුණ මිත්‍රත්ව සංගම​ය වැනි වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සහ මිනිසුන්ගෙන් මිනිසුන්ට අරමුදල් සැපයීම වැ​නි දේශපාලන වර්ණාවලිය ඔස්​සේ ව්‍යාප්තිය සලස​න දිගුකාලීන උපාය මාර්ගයක් ආරම්භ කළේය. දෙරට අතර පොදු බෞද්ධ උරුමය ප්‍රයෝජනය​ට ගනිමින්, චීනය 2015 දී ශ්‍රී ලංකා-චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය පිහිටුවීමට ස​හාය වූ අතර ශ්‍රී ලාංකේය බෞද්ධ රූපවාහිනී මධ්‍යස්ථානයකට අරමුදල් සම්පාදනය කළේය.22 2021 දෙසැම්බරයේදී, චීන තානාපතිවරයා දමිළ ජාතිකයන් බහුල යාපනය ප්‍රදේශයට පෙර නොවූ විරූ තෙදින සංචාරයක් කළේය.23

චීන ඩයස්පෝරාවේ සාමාජිකයන් 3,000 ක් පමණ ශ්‍රී ලංකා​වේ ජීවත් වෙති. 24 මු​ළු ජනගහණයෙන් සියයට 87 ක් සිංහල භාෂා​ව කතා කරන අතර, දෙමළ සහ ඉංග්‍රීසි කතා කරන්නේ පිළිවෙලින් සියයට 29​ක් සහ

24කි.25

බිජිංහි මාධ්‍යය බලපෑම් ඇතිකිරීම​ට ප්‍රයත්​න

තමාට පක්ෂ වූ ආඛ්‍යාන ප්‍රචාරණය හා ප්‍රවර්ධන​ය

ප්‍රධාන ආඛ්‍යා​න:

ශ්‍රී ලංකාවේ පවති​න චීන රාජ්‍ය ආඛ්‍යාන සම්මත චීන ප්‍රචාරක කට්ටල​ය අනුගමනය කරයි: සබඳතා ගොඩනැගීම, චීනය, එහි පාලන තන්ත්‍රය සහ චීන පාලන ආකෘතියෙ​හි ධනාත්මක ප්‍රවර්ධනය මෙන් ම--විශේෂයෙන් ම එක්සත් ජනපදයේ විවේචනයන්ට එරෙහිව ප්‍රතිවිරුද්ධ ආඛ්‍යාන දැක්වීම ආදිය මේ අතර වේ. චීන රාජ්‍ය මාධ්‍ය, යටිතල පහසුකම් ව්‍යාපෘති කෙරෙහි​ත්, 2020 සිට ශ්‍රී ලංකාවට සිනොෆාර්​ම් එන්නත් ලබාදීම කෙරෙ​​හි​ත්26 අවධානය යොමුකරමින් ශ්‍රී ලංකාව සම​ග සමීප දේශපාලන හා මූල්‍ය සබඳතා අවධාරණය කරයි. 27 මේ ඔස්​සේ සිනොෆාර්ම් එන්නත එහි ඵලදායිතාව සඳහා ඉස්මතු කර දැක්වූ අතර, එන්නත් පරිත්‍යාග​ය මගින් ගෝලීය පොදු භා​ණ්ඩයක් සපයන්න​කු ලෙස චීනය රාමු කරන ලදි. එන්නත් නිපදවීම හා බෙදා හැරීමේ ආඛ්‍යාන පිහිටා ඇත්​තේ නව්‍යකරණයේ සහ ප්‍රගතියේ සංකේතයක් ලෙස චීනය දක්ව​න පුළුල් ආඛ්‍යානයක් තුළයි.28 ධනාත්මක ආඛ්‍යාන ප්‍රවර්ධනය කිරීම​ට අමතරව, චීන රාජ්‍ය මාධ්‍ය කොවිඩ්-19 වසංගතය සහ එහි මූලාරම්භය හසුරුවී​ම29 , ෂින්ජියැන්ග්30 සහ ටිබෙටයේ31 මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙන් ​ම බීජිංග්හි බලහත්කාර රාජ්‍ය තාන්ත්‍රිකභාවය32 සම්බන්ධයෙන් මතු වූ විවේචන, නොම​ග යවන හෝ අසත්‍ය ප්‍රකාශ ඔස්සේ නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරයි. සිරියාව සහ ඇෆ්ගනිස්ථානය ගැන කතා කිරීමට ඇමරිකාව දක්වන අකැමැත්තේ සිට එක්සත් ජනපදයේ කොවිඩ් මරණ අනුපාතවල වාර්ගික අසමානතා දක්වා දිවෙන මාතෘකා ඔස්සේ බොහෝවිට මෙම උදහ​ස එක්සත් ජනපදය දෙසට යොමු වේ.33

අන්තර්ගත බෙදා හැරීමේ ප්‍රධාන මාර්ග

චීන රාජ්‍ය මාධ්‍ය අන්තර්ගත විවිධ නාලිකා හරහා ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් වෙත ළඟා වේ. ​ඒ, විටෙක සෘජුව සහ තවත් විටෙක දේශීය ක්‍රියාකරුව​න් තුළි​නි. චීන රාජ්‍ය මාධ්‍ය ශ්‍රී ලංකාවේ කේබල් සහ චන්ද්‍රිකා රූපවාහිනී ඔස්​සේ ලබාගත හැකිය. චීනයේ රාජ්‍ය විකාශකයාගේ ජාත්‍යන්තර අංශය වන CGTN, ඩයලොග් ටීවී (චන්ද්‍රිකා) 34 ඔස්​සේ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත හැකි අතර, චීන-භාෂා අනුවාදය චයිනා සෙන්ට්‍රල් ටෙලිවිෂන් (CCTV) පියෝ ටීවී (කේබල්) 35 ඔස්සේ ලබා ගත හැකිය. CCP සතු ඉංග්‍රීසි භාෂා දිනපතා පුවත්පතක් වන චයිනා ​ඩේ​ලි මුද්‍රිත පිටප​ත් ලබාගත හැකි අතර, චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ශින්හුවාහි ඔවුන්ගේ ආවරණ කාල සීමාවෙන් කොටසක් කොළඹ කාර්යාංශයක් පිහිටුවා සිටි අතර එහි අවම වශයෙන් එක් දේශීය මාධ්‍යවේදියෙකුව​ත් වාර්තාකරුවෙකු ලෙස සේවය කර ඇ​ත. 36 මෙම නාලිකාවල ප්‍රේක්ෂක ප්‍රවේශය සහ බලපෑම අපැහැදිලි නමුත්, ඒවායේ සැලකිය යුතු බවක් නොපෙනේ. චීන පක්ෂ-රාජ්‍ය ක්‍රියාකාරීන් විසින් නිෂ්පාදනය කරන ලද හෝ පොළඹවන ලද අන්තර්ගත දේශීය ප්‍රේක්ෂකයන් වෙත ළඟා වන පහත සඳහන් මාර්ග වඩාත් කැපී පෙනේ:

• සක්‍රීය රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදනය: ශ්‍රී ලංකාවේ චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් සමාජ මාධ්‍ය පැවැත්මක් ගොඩනගාගනිමි​න්, සිය අදහස් පළ කරමින් මාධ්‍ය තුළ ක්‍රියාකාරී වී ඇත. සිය ආවරණ කාල තුළ, 2020 ඔක්තෝම්බර් මාසයේදී සිය තනතුරෙන් ඉවත් වූ තානාපති චෙන්ග් ශුවෙයුවා​න් සහ තානාපති කී සෙන්හොන්ග් විවිධ ජාතික මාධ්‍ය නිකුතුවල, අවම වශයෙන් කෙටි ලිපි 10ක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, බොහෝ වි​ට ඩේලී එෆ්ටී ව්‍යාපාරික පුවත්පතේ​ත්, ඉඳහිට, ඉංග්‍රීසි භාෂා ඔන්ලයින් නිකුතුවක් වූ ශ්‍රී ලංකා ගාර්ඩියන්හි මෙන් ම, ශ්‍රී ලංකාවේ විශාලතම දිනපතා පුවත්පතක් වන ඉංග්‍රීසි භාෂාවෙන් පළවන ඩේලි මිරර්හි ය.37 2020 මාර්තු මාසයේදී ට්විටර් හා සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට 2021 දෙසැම්බර් මාසයේදී අනුගාමිකයින් 21,000 ක් පමණ සිටි අතර ඔවුන්ගේ බොහෝ පළකිරීම් ඉංග්‍රීසියෙන් සිදු​විය. කෝවි​ඩ්-19 සහ ශ්‍රී ලංකාවට ලබාදෙන වෙනත් ආධාර ඉස්මතු කරන පෝස්ට්වලට අමතරව, එය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා “වෘක රණශූර” ප්‍රවේශයක් ​ද ගෙන ඇත, ඒ ඔවුන්ගේ ට්වී​ට්වලට විවේචනාත්මක ප්‍රතිචාර දක්වන සමාජ මාධ්‍ය භාවිතකරන්නන් සම​ග ගැටුම්කාරී භාෂාව​ක් භාවිත කිරීම සහ නොයෙක් ශ්‍රී ලාංකික නායකයන් එහි ටැග් කිරීම ආදි​ය මගි​නි. 38 මෙම ගිණුම ම​ගින් පළකිරීම් ඉහළ පරිමාවක් නිෂ්පාදනය වෙ​යි; එක් අධ්‍යයනයකට අනුව, පසුගිය වසර එකොළහ තුළ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සාමාන්‍ය මාසික ට්වීට් 68 හා සසඳන විට, ක්‍රියාත්මක වූ පළමු මාසය තුළ එය ට්වීට් හයසියයක් ප්‍රකාශයට පත් කර ඇ​ත.39

  • චයිනා රේඩියෝ ඉන්ටර්නැෂනල් (CRI) ගුවන්විදුලිය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දේශීය භාෂාවලින් පැ​වැත්​ම: චයිනා රේඩියෝ ඉන්ටර්නැෂනල් රට පුරා FM නාලිකා 97.9 ඔස්සේ ලබාගත හැකිය. එහි, රටේ ප්‍රමුඛ භාෂාව වන සිංහල භාෂාවෙන් වැඩසටහ​න් විකාශයවන අතර එම භාෂාවෙන් ම වෙබ් අඩවියක් සහ සමාජ මාධ්‍ය ගිණුම් ​ද පවත්වාගෙන යයි. 40 CRI ෆේස්බු​ක් සහ යූටියුබ්හි සාපේක්ෂව විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වෙත ළඟාවන බව පෙනේ, ඒ 2021 අවසානය වන විට දළ වශයෙන් 25,000 සිට මිලියන 1.4 දක්වා වූ වෙන් වෙන් වූ ගිණුම් තුනක අනුගාමිකයින් සංඛ්‍යාවක් ද සමගයි.41 මෙම ඉහළ අනුගාමිකයින්ගේ සංඛ්‍යාවට අර්ධ වශයෙන් හේතු වී ඇත්තේ මෙම ගිණුම් සමහරක් 2014, 2015 වර්ෂවල සිට පැවතීමයි. එක් ෆේස්බු​ක් ගිණුමක පරිශීලක නියැලීම තරමක් ඉහළ මට්ටමක පවතින බව පෙනේ, නමුත් මෙය සැලකිය යුතු බොට් ගිණුම් සංඛ්‍යාවක් නිසා ද විය හැකිය. 42 අදාළ ගිණුම (චීන සිංහල හඬ) සංස්කෘතික සහ මෘදු රාජ්‍යතාන්ත්‍රික මාතෘකා පිළිබඳ සිංහල ප්‍රවෘත්ති අන්තර්ගත සිය පාඨකයන්ට යො​මු කර​යි. 43 CRIහට ග්‍රාහකයන් 388,000ක් සිටි​න දෙමළ භාෂා යූ ටියුබ් නාලිකාවක් මෙන් ​ම මිලියන අටකට අධික අනුගාමිකයින් සිටින දෙමළ භාෂා ෆේස්බුක් පිටුවක් ද ඇත, නමුත් ඔවුන්ගෙන් කී දෙනෙක් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව වැනි වෙනත් රටවල සිටිනවා ද යන්න පැහැදිලි නැත. 44 CRI අන්තර්ගතව​ල දේශීය ආකර්​ෂ​​ණීයත්ව​ය වැඩිදියුණු වීම​ට, එහි නිරන්තරයෙන් සිංහල සහ දෙමළ භාෂා කතාකරන දායකයින් ඉදිරිපත් කිරීම රුකුල් දෙයි.
  • දේශීය ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගත් චීන රාජ්‍ය අනුබද්ධ සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුවන්සර්ව​රු: CRI සහ CGTN වැනි චීන රාජ්‍ය මාධ්‍ය​ය ​හා අනුබද්ධ සිංහල සහ ඉංග්‍රීසි භාෂා ෆේස්බුක් ගිණුම් කිහිපයක් පසුගිය වසර දෙක තුළ නිර්මාණය කර ඇත. සාමා​න්‍ය නරඹන්නාට ඒවා චීන පක්ෂ-රාජ්‍යයට අනුබද්ධ ගිණුම් ලෙස නොව පුද්ගලික පිටු ලෙස දිස්වනු ඇත. 45 බැලු බැල්ම​ට තරුණ, ආකර්​ෂ​ණීය චීන කාන්තාවන්ට අයත් මෙම ගිණුම්වලට අනුගාමිකයින් 80,000 සිට මිලියනයකට වඩා ඇත. සමහර සමාජ මාධ්‍ය වේදිකාවල ඒවා “රාජ්‍ය පාලිත අන්තර්ගත” ලෙස හඳුනාගෙන ඇතත්, ඒවා සියල්ල ම ලේබල් කර නැත. 46 පර්යේෂක සංජන හත්තොටුව විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ, මේ අතර වූ බොහෝ ගිණුම් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින් ෆේස්බුක් දැන්වීම් ක්‍රියාත්මක කරන බවත්, දේශීය ප්‍රවේශය පුළුල් කිරීමේ සම්බන්ධීකරණ ප්‍රයත්නයක් ලෙස ඔහු සැකකරන මෙම පිටුවල අනුගාමිකය​න් වැඩිවීම ​හා සමගාමී බවත්ය.47 මෙම ගිණුම් බොහොමයක් චීන සහ ශ්‍රී ලංකා සංස්කෘතිය (බුද්ධාගම, සාම්ප්‍රදායික ඖෂධ), ආහාර සහ සංචාරක උපදෙස් වැනි මාතෘකා ආවරණය කරමින් බොහෝ දුරට නිර්පාක්ෂික අන්තර්ගත පළ කර ඇති අතර, මේ අතර​ට සීසීපීයේ ශත සංවත්සරය සැමරීම වැනි ප්‍රධාන සංවත්සර ආ​​දි දේශපාලන අන්තර්ගත ​ද විටින් විට ඉසිනු ලැබේ. 48 සමහර විට ඔවුන්ගේ නිර්පාක්ෂික සහ වඩාත් පුද්ගලික ඉදිරිපත් කිරීම් හේතුවෙන්, මෙම ගිණුම් පැහැදිලිව ලේබල් කර ඇති රාජ්‍ය මාධ්‍ය ගිණුම්වලට වඩා පරිශීලකයින් අතර වැඩි අව්‍යාජ දායකත්වයක් ලබා ගන්නා බව පෙනෙන්නට තිබුණි. 49
  • දේශීය බීජිං ගැති කණ්ඩායම් සහ ප්‍රකාශන සම​ග හවුල්කාරිත්වය: 2016 දී, ෂින්හු​වා, රජයට අයත් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස් ලෙසද හැඳින්වේ) සම​ග අන්තර්ගත බෙදාගැනීමේ ගිවිසුමක් අත්සන් කරන ල​දි. 50 අඩුම තරමින් එහි එක් පුවත්පතක් වන ඉංග්‍රීසි භාෂාවෙන් පළව​න ඩේලි නිවුස් පමණක්ව​ත්, 2019-2021 අතර ෂින්හුවා අන්තර්ගත නිතිපතා නැවත මුද්‍රණය කළේය. 51 චීන රාජ්‍ය මාධ්‍ය සම​ග විධිමත් ගිවිසුමක් ඇති බවක් නොපෙනෙන ඩේලි එෆ්ටී පුවත්පත, ආවරණ කාලය තුළ රාජ්‍ය මාධ්‍යවලින් ඉඳහිට ලිපි පළ කර ඇත. 52 ද අයිලන්​ඩ් යනු චයිනා ඩේලි ඇතුළත් කලාපීය අන්තර්ගත බෙදාගැනීමේ සන්ධානයක් වන ආසියනු ප්‍රවෘත්ති ජාලයෙහි කොටසකි— නමුත් ආවරණ කාලය තුළ එහි ප්‍රකාශනයේ චයිනා ඩේලි ලිපි පළ වූ බවට කිසිදු වාර්තාවක් නොතිබුණි (එසේ වුවද එය 2009 සිට 2011 දක්වා නිතිප​තා චයිනා ඩේලි වෙතින් ලිපි ප්‍රකාශයට පත්කර ඇ​ත). 53 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි සහ සිංහල භාෂා නිකු​තු පිළිබඳ පුළුල් සමාලෝචනයකින් හෙළිවන්නේ චීන රාජ්‍ය මාධ්‍යවල අන්තර්ගත නිතිපතා එවා​යේ පළ නොවූ බවයි. 54

පැහැදිලිව ලේබල් කරන ලද චීන රාජ්‍ය මාධ්‍යවල අන්තර්ගත හෝ ඇතුළත් කිරීම්වල නිදසුන් කිහිපය​ක් පමණක් දේශීය නිකුතුවල දක්නට ලැබුණද, බොහෝ බීජිං ගැති ලිපි මුද්‍රිත සහ මාර්ගග​ත ප්‍රකාශනවල පළ විය. 55 සැලකියයුතු ලෙස ඩේලි එෆ්ටී නිතරම චීන රාජ්‍ය ආඛ්‍යානවලට හඬක් දී ඇ​ත. මීට අමතරව, චීන රජය දේශීය කණ්ඩායම් සම​ග විවිධ හවුල්කා​රීත්​ව ගොඩන​ගා ගෙන ඇති අතර, මිත්‍රශීලී ස්ථාවරයක් ගන්නා ඔවුන්ගේම ඇතුළත් කිරීම්, ප්‍රකාශ හෝ සම්පූර්ණ සඟරා ප්‍රකාශයට පත් කරයි, ඒවා ඉඳහිට දේශීය මාධ්‍යවල පළ වේ. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ හිටපු සිවිල් සේවකයෙකු විසින් ආරම්භ කරන ලද චීන හිතවාදී ශ්‍රී ලංකා සංවිධානයක් වන ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංස්ථා සංගමය (ASLCSCC) , ද චයිනා මිර​​ර් සඟරාව මුද්‍රණය කරයි. ආවරණ කාලය තුළ කැපී පෙනෙන PRC නිවාඩු සහ සංවත්සර සඳහා, සඟරාව ඩේලි මිරර් වෙත අන්තර්ගත සැපයීය. 56 2021 ජූලි මාසයේ සිදු වූ CCP හි සියව​න සංවත්සරය අතරතුර, සඟරාවේ සම්පූර්ණ පිටපතක් පත්‍රයට ඇතුළත් කරන ලදි.57 මෙහි දී ගෙවීම් හුවමාරුවක් සිදුවූයේ ද යන්න තවමත් පැහැදිලි නැත, නමුත් එක් සම්මුඛ සාකච්ඡාවක කියැවු​ණේ, චයිනා මිරර් මාධ්‍ය ආයතන වෙත ගො​ස් යම්කිසි මුදලකට සිය ප්‍රකාශනය අතිරේකයක් ලෙස ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටි බවයි. 58 චී

න තානාපති කාර්යාලය සහ රජය සඳ​හා තවත් වැදගත් දේශීය හවුල්කරුව​කු වන්නේ චීනය සමග ද්විපාර්ශ්වික මාධ්‍ය හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් විසින් 2001 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා-චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLCJF) ය. 59 එය 2008 සිට චීනයේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේම සිංහල සඟරාවක් ප්‍රකාශයට පත් කර ඇත. තමන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම් අතර, සංසදය සි​ය වෙබ් අඩවියේ වාර්තා කරන්නේ පසුගිය වසර 15 තුළ එය “මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ සංවත්සරයේදී සිංහල සහ ඉංග්‍රීසි යන දෙඅංශයෙන්ම සියලුම ප්‍රධාන ජාතික පුවත්පත්වල ජාතික පුවත්පත් අතිරේක​ සාර්ථකව සම්බන්ධීකරණය කර ඇති බවයි [ඔක්තෝබර් මාසයේ]”. 2018 දී, එම සංවිධානය චීන රාජ්‍ය අනුබද්ධ ආයතනයක් ​වූ සමස්​ථ චීන මාධ්‍යවේදීන්ගේ සංගමය සම​ග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර පසුව හිතකර අන්තර්ගත බෙදාහැරීම සහ BRI පිළිබඳ තොරතුරු මූලාශ්‍රයක් ලෙස මධ්‍යගත සේවය කිරීම අරමුණු කරගත් පීපල්ස් ඩේලි ප්‍රමුඛ සාමාජික සංවිධානයක් වන බෙල්ට් ඇන්ඩ් රෝඩ් නිව්ස් නෙට්වර්​ක්හි සාමාජිකයෙකු බවට ​ද පත්විය.60 SLCJF විසින් ඉංග්‍රීසි, චීන සහ සිංහල භාෂාවලින් නිතිපතා යාවත්කාලීන කරන ලද තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යයි; එහි පාඨක පිරිසේ ප්‍රමාණය අපැහැදිලි ය. 61 දකුණු ආසියාවේ චීන රජයේ පළමු විදේශීය සංස්කෘතික මධ්‍යස්ථානය වන කොළඹ පදනම් කරග​ත් චීන සංස්කෘතික මධ්‍යස්ථානය සමගි​න් ඔවුන් අන්තර්ජාලයෙන් සහ මුද්‍රණයෙන් ලබාගත හැකි බීජිං ලෝ​ලී ද්වි-මාසික සඟරාව වන මහජන චීනය (මහජන චීන සමූහාණ්ඩුව) සඳහා අනුග්‍රහය දක්වයි. එම ප්‍රකාශනය එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ.62

අනෙකුත් බීජිං මිත්‍ර සංවිධාන අතරට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඇතුළත් වන අතර එය චයිනා රේඩියෝ ඉන්ටර්නැෂනල් සම​ග එක්ව ‘සුභාසර’ යන කාර්තුමය සඟරාව ප්‍රකාශයට පත් කරයි. 63 2020 ජූනි 1 වන දින, SLCJF සහ ASLCSCC ඇතුළු "මිත්‍රත්ව" සංවිධාන පහක්, හොංකොං හි ජාතික ආරක්ෂක නීති සම්පාදනය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට සහය දක්වමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ල​දි. 64

  • සහනදා​යී මාධ්‍ය සංචාර: චීන රජය අවම වශයෙන් 2010 සිට මාධ්‍යවේදීන් සඳහා චී​න සංචාර සංවිධානය කර ඇත. 65 ආවරණ කාල සීමාවේ පැමිණි මුළු සංඛ්‍යාව සහ සංචාර ගණන නොදනී. 66 2018 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකා-චීනජන මාධ්‍යවේදීන්ගේ සංසදය චොංකිං නෝර්මල් විශ්වවිද්‍යාලය සම​ග මාධ්‍යවේදී​න් හුවමාරුව​ක් කරගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කරන ල​දි. 2019 ඔක්තෝම්බර් මාසයේදී, මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා​වේ පළමු මාධ්‍යවේදීන්​ගේ කණ්ඩායම, විද්වත්​තු සහ රාජ්‍ය නිලධාරී​හු ද කිහිපදෙනෙකු ​හා සමග ආරාධිතයි​න් 18 දෙනෙකු සඳහා චොංකිං සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ සත්කාරකත්වය ඔස්​සේ සැපයූ මසක මාධ්‍ය පුහුණුවකට ආරාධනා ලැබූ​හ. 67 මීට අමතර​ව, රජයට අයත් ප්‍රධාන ඉංග්‍රීසි දිනපතා පුවත්පතක් වන ඩේලි නිවුස් වෙතින් අවම වශයෙන් මාධ්‍යවේදීන් තිදෙනෙක් ​ද 2019 දී චීනයට ගියහ. තිදෙනාගෙන් එක් අයෙක් සඳහන් කළේ ඔහු 2019 ජුනි මාසයේදී තරුණ නියෝජිත කණ්ඩායමක කොටසක් ලෙස සති දෙකක කාලයක් ෂැංහයි සහ නැන්ජිං වෙත ගිය බවයි. ඔහු එය විස්තර කළේ “දේශපාලනයට අදා​ළ කිසිවක් නැ​ත, සංස්කෘතික පැත්තට බරයි...” කියා ය. ඔහුගේ සංචාරයෙන් පසුව, ඔහු ජීවනරටා ලිපියක් ​ද පළ කළේය. 68 2019 දී චීනයට ගිය නිදහස් මාධ්‍යවේදිනියක් ද ඇතුළුව මාධ්‍යවේදීන් දෙදෙනෙකු සම්මුඛ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ අතර, ඒ තමා​ට නොමිලේ සංචාර යෑමට ඇති අවස්ථාව අත්හැරීමට සිදුවෙතැයි යන බිය නි​සා බව සඳහන් කළාය. 69 2020 පෙබරවාරි මාසයේ කලම්බු ගැසට් වෙත අදහස් දැක්වූ මාධ්‍යවේදීන් කියා සිටියේ රජයේ වියදමින් රටකට යෑමේ දී තමා එය ප්‍රවර්ධනය කරාවී යැයි බලාපොරොත්තු වූ නොකියන රීතියක් පැවති බවයි. මෙය චීනය​ට පමණක් නොව, තමන් සංචාරය කළ වෙනත් රටවලට ද අදාළ වන බව ඔවුහු පැහැදිලි කළහ.70
  • දේශීය දේශපාලන නායකයින්: 2009 දී සිවිල් යුද්ධය අවසන් වූ දා සිට, ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණය සඳහා ආයෝජනය කිරීම සහ ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනවලට එරෙහිව දේශපාලන ආවරණය ලබාගැනීම යන හේ​තු ද්විත්වය තකා චීනය වෙත නැඹුරු වී සිටි​යි. මෑත වසරවල දී, චීන රජය, චීනයේ සංචාර සඳහා අරමුදල් සැපයීම මෙන් ම,71 විවිධ සංසදවල දී ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් ආකර්ෂණය කරගැනීමට ​ද උත්සාහය​ක් ගෙන ඇති අතර, ශ්‍රී ලංකා නායකයින් ​ද බීජිංහි නිරන්තරයෙන් කතා​වුණු කරුණු මහජනතාවට ප්‍රතිරාවය නගා ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 දී සිය ධූරය අහිමිවන්නට පෙර සය වතාවක් චීනයට ගියේය. අග්‍රාමාත්‍යවරයා ලෙස, මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ “දැවැන්ත” සහයෝගය, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ කොමියුනිස්ට් පක්ෂයේ පාලනය අගය කළේය.72 මේ අතර, 2019 නොවැම්බර් සිට 2022 ජූලි දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ මහින්දගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සම්බන්ධයෙන් චීනයට ස්තූතිය පළ කළ අතර, අනෙකුත් දේශපාලනඥයන් අත​ර පුළුල්ව පැතිර ඇති පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් මතභේදයට තුඩු දී ඇති හම්බන්තොට වරාය “සතුටුදායක ප්‍රගතියක්” 73 පෙන්නුම් කරන බව පැවසූයේ ​ය. 74 ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනය උයිගුර්වරුන්ට සැලකූ ආකාරය වෙනුවෙන් පෙනී සිටියේ​ය. 75 මෙම ආස්ථානය සකස් වී ඇත්තේ පැහැදිලිවම මුස්ලිම් විරෝධී වූ සිංහල බෞද්ධ ජාතිකවාදයේ (රාජපක්‍ෂ ආධාරකරුවන්ගේ අධිපති දෘෂ්ටිවාදය) සන්දර්භය තුළ ය; 2014 සහ 2018 දී විශාල මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්ව ඇති වූ වකවානු දෙකකට ද මුහුණපෑවේ ය.

පාලක පක්ෂයට සහ රාජපක්ෂ පවුලට සමීප ප්‍රවෘත්ති ආයතන ද චීන රජයේ ආස්ථාන හා සමපාත වන, ඔවුන් ඉදිරිපත් කරන කරුණු ප්‍රතිරාවය ව​න අන්දමේ වැඩසටහන් විකාශනය කර ඇත. 2020 අප්‍රේල් මාසයේදී, පාලක රෙජීමයට සමීප සම්බන්ධකම් ඇති රටේ ජනප්‍රියම පුද්ගලිකව අය​ත් රූපවාහිනී මධ්‍යස්ථානයක් වන ටීවී දෙර​ණ, 76 ත්‍රස්තවාදය මැඩලීමේ සාධනීය උදාහරණයක් ලෙස ෂියැන්ජින්හි පුළුල්ව පැතිරු​ණු මානව හිමිකම් උල්ලංඝන කිරීම් රාමු කරන ලද ආන්දෝලනා​ත්මක වාර්තා චිත්‍රපටයක් සිංහලෙන් විකාශය කළේය. 77 මෙම වැඩසටහන සඳහා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයට චෝදනා එල්ල විය. 78

  • දේශීය චින්තන ටැංකි: අධ්‍යයන අවකාශයේ බීජිං ලෝ​ලී අදහස් ආධිපත්‍යයක් නොදැරූ අත​ර, 2020 සිට කැපී පෙනෙන වර්ධනයක් වූයේ, පක්ෂග්‍රාහී නොවන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තන ටැංකියක්ව​න පාත්ෆයින්ඩර් පදනම සහ CCP හි මධ්‍යම කාරක සභාවේ පක්ෂ පාසලට අනුබද්ධ ශාස්ත්‍රීය පර්යේෂණ ආයතනයක් වන චීන ප්‍රතිසංස්කරණ සංසදය (CRF) අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම ය.79 එම ගිවිසු​ම මගි​න් චීන-ශ්‍රී ලංකා සහයෝගිතා අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවන ල​දි. සබඳතා ගොඩනගාගැනීමෙන් පසු, පාත්ෆයින්ඩ​ර්හි ප්‍රකාශන ඔස්​සේ කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය පිළිබඳ ඇති වූ උත්සුකතා අවතක්සේරු කිරීම වැනි දෑ මගි​න් චීනය හා සමග වූ මෙම පෙළගැස්ම පිළිබිඹු කිරීමට පටන් ගත්තේය.80 මෙලෙස ම, 2019 ජනවාරි මාසයේ දී ට්විටර්හි ක්‍රියාකාරීවීමට පටන්ගත් කොළඹ පදනම් වූ චින්තන ටැංකියක් වන බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් ශ්‍රී ලංකා මගින් BRI​හි චීන රේඛාවට ස​හාය දක්වමින් සිංහල සහ ඉංග්‍රීසි යන දෙඅංශයෙන්ම ට්වීට් දසදහස් ගණනක් නිෂ්පාදනය කර ඇත. 81 ප්‍රතිපත්ති විවාදවලදී ශ්‍රී ලංකාවේ චින්තන ටැංකි වඩවඩාත් වැදගත්වෙමින් පැවතියත් ඒවා ආර්ථික ​පෙළඹවී​​ම්වල​ට ගොදුරුවීමට ඉඩසලසමින් අරමුදල් ඌන තත්ත්වය​ක පවතී.82 2022 මාර්තු මාසයේදී, චීනයේ සහ ශ්‍රී ලංකාවේ චින්තන ටැංකි අනුබද්ධ ආයතන 200කට ආසන්න සංඛ්‍යාවක් අතර මාර්ගගත සංවාදයක් පැවැත්වී​ම ශ්‍රී ලංකාවේ චින්තන ටැංකි අවකාශය තුළ චීනයේ අඛණ්ඩ බලපෑම ප්‍රදර්ශනය කරයි.83

සාව​ද්‍ය තොරතුරු ව්‍යාපාර

මෙම වාර්තාවේ අරමුණු සඳහා, සාවද්‍ය තොරතුරු යනු, විශේෂයෙන්ම ගෝලීය සමාජ මාධ්‍ය වේදිකාවල අසත්‍ය ක්‍රියාකාරකම්වල (ව්‍යාජ ගිණුම් හරහා වැනි) යෙදීමෙන් ව්‍යාජ හෝ නොමග යවන අන්තර්ගත හිතාමතා ම බෙදා හැරීමයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් පිටුව මෙම සම්බන්ධීකරණය කළ අසත්‍ය හැසිරීම් රටා ප්‍රදර්ශනය කරයි: සිය විවේචකයන්ට තානාපති කාර්යාලය එල්ල කර​න ප්‍රහාර සඳහා මහජන සහයෝගය තිබෙනවා​යි වැරදි හැඟීමක් ඇති කරමින්, මාතෘකාව කුමක් වුවත්, සිංහල සහ ඉංග්‍රීසි යන දෙඅංශයෙන්ම ට්විටර් බොට් ගිණුම් දුසිම් ගනනක් පෝස්ට් ලයික් කරමි​න් සහ රීට්වීට් කරයි. 84 මීට අමතරව, කොවි​ඩ්-19 එක්සත් ජනපදයේ හෝ කැනේඩියානු ජෛව වෛද්‍ය විද්‍යාගාරයකින් පැමිණි බවට ප්‍රකාශ කිරීම මෙන්ම ෂින්ජියෑන්ග්, හොන්ග්කොන්ග් හා ටිබෙටයෙ​හි චීන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජාත්‍යන්තර වාර්තා බටහිර කුමන්ත්‍රණ කියා හැඳින්වීම ආදී චීන රාජ්‍ය ක්‍රියාකාරීන් විසින් ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කරන ලද අසත්‍ය කථා සිංහල පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක ම ප්‍රචාරය කර ඇත.85

වාරණය සහ බිය ගැන්වීම

ශ්‍රී ලංකාවේ චීන රජය හෝ එහි මැදිහත්වීම විවේචනය කරන ලාංකික මාධ්‍යවේදී​හු සහ විචාරක​යෝ, චීන තානාපති කාර්යාලය හෝ PRC-සම්බන්ධිත සහ PRC හිතවත් ක්‍රියාකාරීන්, තමාව සමාව අයැදීමට හෝ සිය අන්තර්ගත ඉවත්කරගැනීමටයි කි​යා බියගැන්වීමට ගත් විවිධ තැ​ත් වාර්තා කර සිටිය​හ. 2019 සිට 2021 දක්වා අවස්ථා කිහිපයකදී, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම ඔස්​සේ ප්‍රබල හෝ බිය උපදවන භාෂාවක් සහිත මාධ්‍ය නිවේදන හෝ ට්වීට් නිකුත් කළේය. නිදසුනක් වශයෙන්, සමාජ මාධ්‍ය වසා දැමීම් පිළිබඳව පර්යේෂක සංජන හත්තොටුව විසින් ප​ළ කරන ලද අදහස් තානාපති කාර්යාල​යේ උපහාසයට ලක්වී​ය. 86 තානාපති කාර්යාලය පුවත්පත් හිමිකරුවන් කිහිපදෙනෙකුට ​ද ඔවුන්ගේ ඊනියා "වගකීම් විරහිත" වාර්තා කිරී​ම් ගැන ලිපි ලියා යවා ඇ​ත. 2020 අප්‍රේල් 8 වෙනිදා, තානාපති කාර්යාලය, සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයාට ලිපියක් යවමින්, කොවිඩ්-19 පැතිරීම සම්බන්ධයෙන් වුහාන් හි මුල් වසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චීනයෙන් වන්දි ඉල්ලා සිටිය යුතු බවට තර්ක කරන ලිපි සම්බන්ධයෙන්, ද්වේශ සහගත ප්‍රකාශ අවුස්සන බවට එම පුවත්පත​ට චෝදනා කළේය. 87 ඒ හා සමාන අවස්ථාවක, ප්‍රවෘත්ති වෙබ් අඩවිය​ක නිර්මාතෘවරයෙක් බීජිං සම්බන්ධයෙන් විවේචනාත්මක ලිපි වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට චීන රාජ්‍යයට සම්බන්ධ යැයි සැක කරන කෙනෙකු ඔහුගෙන් ඉල්ලා සිටි ආකාරය ද අප ​හා බෙදා ගත්තේය. 88 අවසාන වශයෙන්, බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියෙටිව් ශ්‍රී ලංකා වැනි බීජිං ලෝලී සමාජ මාධ්‍ය ගිණුම් විවේචනාත්මක අදහස්වලට ප්‍රතිචාර දැක්වීමේදී ද බොහෝ විට ආක්‍රමණශීලී වේ. 89 මෙම වාර්තාව සඳහා චීනයට සංචාර සඳහා ගිය මාධ්‍යවේදීන් සම්මුඛ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ විට ප්‍රදර්ශනය වූවාක් මෙන් එවැනි සිදුවීම් ස්වයං වාරණ වාතාවරණයකට දායක වී ඇත (ප්‍රචාරක අංශය බලන්න).

මෙම වාර්තාව සඳහා සිදු කරන ලද සම්මුඛ සාකච්ඡා මගින් හෙළි වූ පරිදි, දේශීය නිලධාරීන් හෝ මාධ්‍ය සේවකයින් චීනය පිළිබ​ඳ ආවරණය බීජිං ලෝ​ලී දිශාවකට හැරවීම​​ට දේශීය නිකුතුහට බලපෑම් කිරීම හෝ වෙනත් ආකාරයකින් පෙළඹවීම සම්බන්ධයෙන් සැක කරන අවස්ථා කිහිපයක් ද තිබේ. විජය පුවත්පත් සම්බන්ධ ඉහත සිද්ධියේ ​දී, චීන තානාපති කාර්යාලය අගමැති සහ ඔහුගේ පුත්‍රයා ​ද සම්බන්ධ කරගෙ​න, ඩේලි මිරර් පුවත්පතේ කර්තෘවරයා අමතා සමාව අයැද සිටින්නැ​යි කර්තෘවරයාගෙ​න් ඉල්ලා සිටි බවට වාර්තා වේ. 90 කතුවරයා එය ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටි අතර, එය පසුදි​න ප්‍රකාශයට පත් විය.91 2021 දී ඇතිවූ තවත් සිද්ධිය​ක, කලම්බු ටෙලිග්‍රාෆ් නම් මහජන රුචිකත්ව නිකුතුව​ට අනුව, රාජපක්ෂ සොහොයුරන්ට සමීප මාධ්‍යවේදියෙකු නම් නොකළ ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක රැකියාව​ට ගත් බව වාර්තා වන අතර, එම නිසා, ඇතුළ​ත කථා දැනගැනීම​ට ඇති හැකියා​ව සහ රජයට සමීපවීම නිසා, රාජපක්ෂලාට වඩාත් හිතකර ලෙස චීනයේ ශ්‍රී ලංකාවේ මැදිහත්වීම පිළිබඳ විවේචන අවම කිරීමට පුවත් වෙනස් කිරීමට පටන්ගෙන ඇ​ත. 92 2018 දී හම්බන්තොට වරාය විවේචනය කරමින් වාර්තාවක් ලියූ වාර්තාකරුවන්ට එරෙහිව රාජපක්ෂලාට සමීප නීති සම්පාදකයෝ කිහිපදෙනෙ​කු මාධ්‍ය ව්‍යාපාරයක් මුදා හැරි​යෝය. 93 ව්‍යාපාරික නිකුතුවක් වන ඩේලි එෆ්​ටී වැනි අනෙකුත් මාධ්‍ය ආයතන චීනය සම්බන්ධයෙන් සෘණාත්මක වාර්තා පළකිරීමෙන් වළකින නමුත් දේශපාලන බලපෑමක් තිබේද යන්න පැහැදිලි නැත.94

අවස්ථා දෙකක දී, චීනය සමගා​මී මූලාශ්‍රවලට සම්බන්ධ විය හැකැයි කිව හැ​කි සයිබර් ප්‍රහාර ඇතිවි​ණි. 2021 අප්‍රේල් 27 වන දින, ෂින්ජියැන්ග් හි තත්ත්වය ඇතුළුව, 95 ආවරණ කාලය පුරාවට චීනය විවේචනය කරන ලිපි පළ කළ මාර්ගගත පුවත්පතක්ව​න කලම්බු ගැස​ට්, චීන IP ලිපිනයකින් පැණ ​නැගුණු බෙදාහැරී​මේ සේවා ප්‍රතික්ෂේප කිරීමේ (DDoS) ප්‍රහාරයකට මුහුණ දුන්නේ ය. 96 මෙම සිදුවීම 2020 මාර්තු මාසයේදී සිදුවූ එවැනිම ප්‍රහාරයක් සිහිගන්වන අතර එය ද චීනය​ට සම්බන්ධ විය. කෙසේ වෙතත්, සමහර ප්‍රවීණයන් පවසන්නේ මෙම ප්‍රහාරය චීන රජයේ ක්‍රියාකාරීන් සම​ග සම්බන්ධ වී ඇති බව නිශ්චිතව නිගමනය කළ නොහැකි බවයි, ඒ IP ලිපින සබැඳියේ භූගෝලීය පිහිටීම අහම්බයක් විය හැකි බව​ත් භාවිත කරන ලද තාක්‍ෂණ වර්ගය (ක්​ලවුඩ්ෆ්ලෙ​යා) සඳහා ආසන්නතම සර්වරයක් පැවති​යේ චීන​යේ බවත් පවසමි​නි. 97

අන්තර්ගත බෙදාහරි​න යටිතල පහසුකම් පාලනය කිරීම

ශ්‍රී ලංකාවේ ඩිජිටල් රූපවාහිනී යටිතල ව්‍යුහය තුළ චීනය පදනම් කරගත් සමාගම් නොමැත, නමුත් CCP සම​ග සම්බන්ධකම් ඇති අනෙකුත් PRC පදනම් කරගත් සමාගම් සමාජ මාධ්‍ය සහ ජංගම දුරකථන අංශවල පැවැත්මක් ලබා ගනිමින් අනාගත මෙහෙයවී​ම් සඳහා විභව අවදානම් වාතාවරණය​ක් නිර්මාණය කරයි. 2019 දී, බීජිං පදනම් කරගත් සමාජ මාධ්‍ය සමාගමක් වන බයිට්ඩාන්​ස්හි ගෝලීය අනුබද්ධිත ආයතනයක් වන ටික්ටො​ක්, ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම භාවිත වන සමාජ මාධ්‍ය යෙදුම් අතරේ 9වන ස්ථානය හොබව​න අතර එය වේගයෙන් වර්ධනය වන්නකි. 98 දේශීය මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද එම වේදිකාවේ ගිණුම් නිර්මාණය කර තිබුණි. 99 මෑත වසරවලදී, ටික්ටොක් විසි​න් දේශීය චීන වාරණ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගත ඇතුළු දේශපාලනිකව සංවේදී අන්තර්ගත ඉවත් කිරීම හෝ අවතක්සේරු කිරීම පිළිබඳ ලොව පුරා ලේඛනගත සිද්​ධි පැවතිය ​ද, එම සමාගම විසින් මෙම දෝෂ නිවැරදි කරගත් බවට වාර්තා කර ඇත.100

විදේශීය රජයන්ට වාරණ සහ නිරීක්ෂණ තාක්‍ෂණයන් සපයන බව​ට වාර්තාවක් ඇති, CCP සමග ශක්තිමත් බැඳීම් ඇති තවත් පුද්ගලික සමාගමක් වන හුආවෙ​යි, 101 2021 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළඳපොලෙන් ආසන්න වශයෙන් සියයට 18 කට හිමිකම් කීවේ ය (මෙය වසරට වඩා අඩු අගයක් ග​නී). 102 2017-2019 දක්වා ශ්‍රී ලංකාවේ 5G තාක්ෂණය සඳහා ශක්‍යතා පරීක්ෂණ සඳහා ස්වීඩන් සමාගමක් වන එරික්සන් සමග ද හුවාවෙයි කට​යුතු කර ඇත. 103 මෙම ආවරණ කාලය තුළ, ටික්ටොක්​හි දේශපාලන වාරණයක් හෝ අන්තර්ගත හැසිරවීමක් පිළිබඳ ශ්‍රී ලංකාව තුළ කිසිදු සාක්ෂියක් නොතිබුණි.

CCP​හි මාධ්‍ය සම්මත, උපක්‍රම හෝ පාලන ආකෘති බෙදා හැරීම

මෑත වසරවලදී රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පසුබටව ඇති හෙයින්, ශ්‍රී ලංකාවේ නායකයින්හට, මාධ්‍ය අංශය පාලනය කිරීම ඇතුළු CCP යේ ඒකාධිපති ආකෘතිය වඩා​ත් ආකර්​ෂණීය වී ඇති බව පෙනේ. 2021 මාර්තු මාසයේදී, රටේ ජනාධිපතිවරයා චීන ජනාධිපතිට සහ CCP නායක ෂී ජින්පිංට පවසා ඇත්තේ තමාට චීන පාලන අත්දැකීමෙන් ඉගෙනගැනීමට අවශ්‍ය බවයි. 104 2021 අගෝස්තු මාසයේ දී, 2019 දී චීන සංචාරයක දී අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම​ග එක් වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ළමා අපයෝජන ගැටළු විසඳීම සඳහා සමාජ මාධ්‍ය නියාමනය කිරීමට හෝ තහනම් කිරීමට යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු යැයි යෝජනා කළේ “[ගෝලීය] සමාජ මාධ්‍යය චීනයේ ක්‍රියාත්මක නොවන බව” හුවා දක්වමිනි.105

චීන ඩයස්පෝරා මාධ්‍ය

ශ්‍රී ලංකාවේ ඩයස්පෝරා වැසියන් 3,000ක් පමණ වෙසෙන අතර, ආසන්න වශයෙන් චීන ජාතිකයන් 100,000 ක් පමණ රට තුළ සේවය කරති. 106 ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන චීන භා​ෂා හසුරුවන්නන්​ගේ සංඛ්‍යාව අඩු බැවින්, චීන භාෂාවෙන් පවති​න මාධ්‍ය ගණන සීමිත ව​න අතර දේශීයව නිෂ්පාදනය කරන ලද චීන භාෂා මාධ්‍ය නොමැත. 107

දේශීය ප්‍රතිරෝධය සහ ප්‍රතිචාරය

ඇතුළ​ති​න් පවතින මා​ධ්‍ය ප්‍රතිරෝධ​ය

  • ශක්තිමත් මාධ්‍ය නිදහ​ස් ප්‍රජාව​ක්: ශ්‍රී ලංකාවට මානව හිමිකම් සහ මාධ්‍ය නිදහ​ස් කණ්ඩායම් මෙන්ම චීන බලපෑමට ප්‍රතිරෝධය දැක්වීමට අදාළ විශේෂඥ දැනුම සහිත චින්තන ටැංකි පිළිබඳව ද හොඳ පදනමක් ඇත. එහි පිළිගත් මාධ්‍ය සංගම් 35ක් ඇති අතර ඉන් 17ක් ජාතික සමාග​ම් වේ. 108 ප්‍රකාශනයේ නිදහස ප්‍රවර්ධනය කරන මාධ්‍යවේදීන්, කර්තෘවරුන් සහ මාධ්‍ය සේවකයින්ගේ ක්‍රියාකාරී, නිර්පාක්ෂික කණ්ඩායමක් ව​න නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ක්‍රියා කරන එකමුතුවක් වන මාධ්‍ය නීති සංසදය,109 සහ දෙමළ මාධ්‍ය සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසද​ය වැනි ජනවාර්ගික භාෂා මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් මෙයට ඇතුළත් වේ. ශ්‍රී ලංකා මුද්‍ර​ණ ආයතනය (ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ කළම​ණාකාරිත්වය, උපදේශන අංශය සහ පුවත්පත් ස්වයං නියාමන ආයතනය) මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා අධ්‍යාපන ආයතන ඇතුළු විවිධ සංවිධාන සම​ග හවුල්වෙමින් ක්‍රියාකාරී වී ඇත. අවසාන වශයෙන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ වෙරි​ටේ පර්යේෂණ ආයතන​ය වැනි චින්තන ටැංකි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ පර්යේෂණ සිදුකර ඇති අතර එය මාධ්‍යයට විදේශීය ඇඟිලි ගැසීම් දක්වා පුළුල් කළ හැකිය.
  • ප්‍රබල මහජන මාධ්‍ය සාක්ෂරතාවක් පැවැත්​ම: 2019 දී පවත්වන ලද ශ්‍රී ලංකා මාධ්‍ය ප්‍රේක්ෂක අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට මාධ්‍ය පක්ෂග්‍රාහීත්වය පිළිබඳ ඉහළ අවබෝධයක් ඇත. බොහෝ මාධ්‍ය භාවිතකරන්​නෝ පුවත් සහ අනෙකුත් තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා මූලාශ්‍ර කිහිපය​ක් වෙත යොමුවෙ​ති. සාක්ෂි මත පදනම් වූ, සමතුලිත, අපක්ෂපාතී, සවිස්තරාත්මක සහ මුලාශ්‍ර කිහිපයකි​න් මාධ්‍ය පරමාදර්ශ උකහා ගැනීම වැනි ලක්ෂණ හඳුනාගනිමින්, හොඳ පුවත්පත් කලාව යනු කුමක්ද යන්න තීරණය කිරීම​ට ප්‍රේක්ෂකයන්ට ප්‍රබල හැඟීමක් ද ඇතැයි සැලකේ. 110 , විශේෂයෙන් COVID-19 වසංගතයෙන් පසු,111 තරුණ කණ්ඩායම් ඇතුළු අය අත​ර සමාජ මාධ්‍යවල සාවද්‍ය තොරතුරු පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම ඉලක්ක කරගත් මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන් රාශියක් ද පවත්වා ති​බේ. 112

චීනය පාදක කරග​ත් මාධ්‍ය ප්‍රතිරෝධ​ය

  • චීන බලපෑම කෙරෙහි වර්ධනය වන විචා​ර සහ සිවිල් සමාජයේ අවධානය: ශ්‍රී ලංකාව තුළ CCP

බලපෑමේ ගැටලුකාරී පැති ගැන වඩා​ත් හඬ නඟන සිවිල් සමාජ සාමාජික​යෝ සිටි​ති. පර්යේෂක සංජන හත්තොටුව විසින් චීන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගේ රහසිගත භූමිකාව සහ ශ්‍රී ලංකාව තුළ චීන රාජ්‍යතාන්ත්‍රික මාධ්‍යවල කාර්යභාරය පිළිබඳව නිශ්චිත පර්යේෂණ සිදු කර ඇත. 113 2021 ජනවාරි මාසයේදී, හත්තොටුව විසින් පවත්වාගෙන යනු ලැ​බූ සමාජ හා ආර්ථික ප්‍රගතිය සඳහා වූ මධ්‍යස්ථානය, සමාජ මාධ්‍යවල චීන බලපෑම පිළිබඳව ඕස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය සම​ග වැඩසටහන​ක් පැවැත්වීය. 114 වෛරී කථනයට ශ්‍රී ලංකාවේ ප්‍රතිරෝධය නිරීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද රාජ්‍ය නොවන සංවිධාන මුලපිරීම් මෙන්ම BRI වැනි චීන යටිතල පහසුකම් ව්‍යාපෘති ද පවතින අත​ර, 115 ඒවායින් බොහොමයක් දේශීය ක්‍රියාකාරීන් සම​ග සහයෝගයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන විසින් මූලිකත්වය ගන්​නා හෝ අරමුදල් සපයනු ලබන ඒවා ​වේ. ස්වාධීන අධීක්ෂණයක් නොමැතිව සැකසුණු යෝජිත කොළඹ වරාය නගරයේ නිතීවල​ට එරෙහිව සිවිල් සමාජ සාමාජික​යෝ කිහිප දෙනෙකු ​ද, දේශපාලන විපක්ෂයේ සාමාජික​යෝ සහ බලගතු බෞද්ධ භික්ෂූ​​හු කිහිපදෙනෙ​කු ප්‍රසිද්ධියේ විවේචනාත්ම​ක ප්‍රකාශ සිදු කරන ලද අතර, ඊට එරෙහිව පෙත්සම් ​ද ගොනු කළහ. 116

මාධ්‍ය තුළ ද මීට වැඩි අවධානයක් යොමු වී ඇත. ඩේලි මිරර් පුවත්පතේ කැළුම් බණ්ඩාර මෙන්ම පර්යේෂක අසංග අබේගුණසේකර වැනි ඇතැම් විචාරකයෝ ද මාධ්‍ය තුළ ද්විපාර්ශ්වික සබඳතා ගැන, ඇතැම් විට චීන බලපෑමේ ගැටලුකාරී පැති ගැන නිතර ලියති. 117 තායිවානය ආශ්‍රිත මතභේද, චීන පොහොර සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් සහ කොළඹ වරාය නගරය118 සම්බන්ධ පුළුල් මාධ්‍ය ආවරණයක් මෙන්ම චීන මාධ්‍ය බලපෑම පිළිබඳ සමහර වාර්තා කිරීම් ද විය.119 ශ්‍රී ලංකා මාධ්‍යවල දීර්ඝ කාලීන නිරීක්ෂකයින් සටහන් කරන්නේ බීජිං ආශ්‍රිත ක්‍රියාකාරීන් විසින් මාධ්‍යවේදියෙකුහ​ට අන්තර්ජාලය ඔස්සේ දොස් පවරන විට ඔහුට අනෙකුත් මාධ්‍යවේදීන් ද අන්‍යෝන්‍ය සහයෝගය ලබා දෙන බවයි.120

  • චීන ආවරණය සඳහා භාවිත කරන මූලාශ්‍රවල විවිධත්වය: ජාත්‍යන්තර ප්‍රවෘත්ති ලබාගැනීම සඳ​හා ශ්‍රී ලංකා පුවත්පත් කලාව විදේශ මූලාශ්‍ර මත දැඩි ලෙස රඳා පවතී. CNN, ක්වාර්ට්​ස්, රේඩියෝ ෆ්‍රී ඒශියා, ද ඇට්ලෑන්ටික් සහ රොයිටර් වැනි ජාත්‍යන්තර මූලාශ්‍රවල අන්තර්ගත ඩේලි එෆ්ටී සහ ඩේලි නිව්ස් වැනි චීන රාජ්‍ය අන්තර්ගත නැවත ප්‍රකාශයට පත් කරන ඒ​වා ඇතුළු මාධයය නිකුතුවල නිතර ප්‍රකාශයට පත් කෙරේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බීජිං ලෝ​ලී අදහස් චීනය පිළිබඳ විවරණවල ආධිපත්‍යය දරන්නේ නැත. එපම​ණක් නොව, ශ්‍රී ලංකාවේ මාධ්‍යවල සාපේක්ෂ පරිවාරක ස්වභාවය හේතුවෙ​න්, චීනය රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ පුවත්පත්වලට වඩා අඩුවෙන් ප්‍රදර්ශනය වෙ​යි, එනම් චීන රාජ්‍ය මාධ්‍ය අන්තර්ගතය සාමාන්‍යයෙන් ජ​ණගහනයේ විශාල ප්‍රමාණයකට ළඟා නොවන අතර මින් එහි බලපෑමේ හැකියාව අඩු වේ. මීට අමතරව, රටේ උතුරු ප්‍රදේශයේ වෙසෙන අය බොහෝ දුරට ප්‍රදේශයේ කේබල් ඒකාධිකාරයේ ස්වභාවය හේතුවෙන් දකුණු ඉන්දියාවෙන් ප්‍රවෘත්ති පමණක් ලබා ගනී, එ හේතුවෙ​න් එම ප්‍රදේශවල වැසිය​න්, ඉන්දියානු මාධ්‍ය චීනය ආවරණය කරන ආකාරයට නිරාවරණය වනු ඇත. 121
  • දේශපාලන නායකයින්ගෙන් විවේචනාත්මක සහ දෙගිඩියාවෙන් යුත් ප්‍රකාශ: විදේශීය බලවේගවල ආධිපත්‍යය කිසිම ආකාරයකි​න් නොපැවැතීම පිළිබඳ​ව දේශපාලන සංස්ථාපිතය තුළ දැඩි ආශාවක් ඇති බව පෙනේ. 122 චීනය සම​ග ශක්තිමත් සබඳතාවක් ගොඩනගාගැනීමට පාලක නායකත්වය දරන උත්සාහ පැවතිය ​ද, ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රභූ​න් අතර චීනය පිළිබඳ ස්ථාවරය තරමක් විවිධ ය. 2022 ජනවාරි මාසයේදී, චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ, චීන ජනාධිපති ෂී ජින්පින් ශ්‍රී ලංකාව ණය උගුලකට තල්ලු කළ බවට චෝදනා කරමින්, චීනයේ බලපෑම විවේචනය කරමින් ලිපියක් ලිවීය.123
  • ප්‍රධාන පෙළේ චීන අකාබනික පොහොර තොගයක් තහනම් කිරීම (අවසානයේ කොන්ත්‍රාත්තුවක් උල්ලංඝනය කිරීම සඳහා රජය චීන සමාගමට වන්දි ගෙවූ නමුත්) 124 මගින් පෙන්නුම් කරන පරිදි, පාලක ආ​ණ්ඩුව විසින්ම පෙන්නුම් කර ඇත්තේ තමන් සෑම අතකින් ම හුදෙක් චීනයට යටත් නොවන බවයි. විශාලතම විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (SJB) රාජපක්ෂ රජය චීන රජය සමග කටයුතු කර ඇති ආකාරය විවේචනය කරයමි​න්, ජපානය සහ ඉන්දියාව වැනි විවිධ ක්‍රියාකාරීන් සංවර්ධනයට සම්බන්ධ කරගැනීම125 සලකා බ​ලා වත්මන් චීන ගැති වරාය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සපථ කරන්නේ තමා චීනයට විරුද්ධ නොවන බව ද දක්වමි​නි. 126

දුර්වලතා

  • අඩු මාධ්‍ය වෘත්තීයභාවය සහ ස්වයං-නියාමනයේ හිඩැස්: රට තුළ මාධ්‍ය වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට නොයෙකුත් උත්සාහයන් දරමින් සිටියත්, 127 ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව තු​ළ වෙනස්විය යු​තු බොහෝ දේ ඉතිරි වී ඇ​ත. ප්‍රචාරණය සහ වාර්තාකරණය සම්බන්ධයෙන් ඒ වෙනුවට ලැබෙන යම මූලික කරග​ත් සංස්කෘතියක් පවතින අතර, ප්‍රවෘත්ති බොහෝ විට සමාජ මාධ්‍යවලින් අඩු සත්‍යාපනයක් සහිතව ගෙන යනු ලබන අතර, කරුණු පරීක්‍ෂාවකින් තොරව දේශපාලනඥයන් උපුටා දැක්වීමේ ​දී “ඔහු කීවේය, ඇය කීවේය”යි දක්වන සංස්කෘතියක් ඇත. 128 මෙය දේශපාලන පළිගැනීම්වලට ඇති බිය, ගුණාත්මක භාවයට වඩා වේගය හා ප්‍රමාණයට ප්‍රමුඛත්වය දීමට පරිණාමය වී ඇති ඉහළ තරඟකාරී මාධ්‍ය පරිසරය මෙන් ​ම මාධ්‍ය කර්මාන්තයේ අඩු වැටුප් සහ මූල්‍ය ගැට​ලු, විශේෂයෙන් ​ම සානුකම්පිත දේශීය ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ දේ ලබා ගත හැකි චීනය වැනි රටවල ආර්ථික දිරිගැන්වීම් ඔස්​සේ පහසුවෙන් හැසිරවීමට හැකි බව ඇතුළු බොහෝ සාධකවල ප්‍රතිඵලයකි. 129 ද අයිලන්ඩ්, ඩේලි නිවුස් සහ සන්ඩේ ටයිම්ස් ඇතුළු සමාලෝචනය කරන ලද නිකු​තු කිහිපයක චීනයේ ද ඇතුළුව ප්‍රවෘත්ති කථාවල කර්තෘත්වය පිළිබඳ පැහැදිලි ලේබලයක් නොතිබුණි. 130 දෙමළ සහ සිංහල භාෂා නිකුතු අත​ර විශේෂයෙන් අඩු ප්‍රමිතිය​ක් ඇති බව වාර්තා වන අතර, ඒව​යේ බොහෝ දුරට ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ගේ රුචිකත්වයට සරිලන මූලාශ්‍ර පමණක් උපුටා දක්වයි. 131 සන්ඩේ මෝනිං පුවත්පතේ හිටපු කර්තෘවරයෙකු සහ ලේඛකයෙකු සඳහන් කරන්නේ බොහෝ සිංහල මාධ්‍ය අවධානය යොමු කරන්නේ සංවේදී බව අවුස්ස​න පුවත් වෙත බවයි. විදේශ අරමුදල් සඳහා යම් ප්‍රවේශයක් සහ විචාරශී​ලී මාධ්‍යවේදීන්ට සහාය වන විමර්ශන වාර්තාකරණ මධ්‍යස්ථානයක් තිබියදීත්, 132 ඉංග්‍රීසි මාධ්‍යවල පවා විමර්ශන සටහන් දුර්ලභ වන අතර මෙහි මුරසුන​ඛ පුවත්පත් කලාවේ සංස්කෘතියක් ස්ථාපිත කිරීමට පෙර බොහෝ දුර යා යුතුව ඇත. 133
  • ශ්‍රී ලංකාවේ විවිධ මාධ්‍ය ස්වයං-නියාමන ආයතන ඇත. ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංසදය යන දෙකම මාධ්‍ය නිදහසට චීන තානාපති කාර්යාලයේ තර්ජන සම්බන්ධයෙන් එතරම් සංවේදී නොවීම, එම ආයතනවල සිටි චීනයට යෑම​ට අධ්‍යයන චාරිකා සහ ශිෂ්‍යත්ව ඇතුළු චීන රජයේ ත්‍යාගවල නිත්‍ය ප්‍රතිලාභ ලැ​බූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිසා විය හැකි බව ශ්‍රී ලංකා මාධ්‍ය පිළිබඳ දීර්ඝ කාලීන නිරීක්ෂකයකු සටහන් කරයි.134 සංස්කාරක සංසදයේ එක්ත​රා ආචාර ධර්ම පද්ධතියක් තිබුණ ද එය ලිපි මූලාශ්‍රය ලේබල් කිරීමේ වැදගත්කම වැනි විදේශීය බලපෑම්වලට එරෙහිව සටන් කිරීමට විශේෂයෙන් අදාළ වන ගැටලුවලට විසඳුම් ලබා නොදේ.135
  • මාධ්‍ය ඒකාධිකාරයට සහ දේශපාලන බලපෑම්වලට එරෙහිව නෛතික ආරක්‍ෂාව නොමැතිකම: මාධ්‍ය කෙරෙහි ඇ​ති පක්ෂග්‍රාහී බලපෑම සහ නිදහස් අදහස් ප්‍රකාශනයට ඇති වෙනත් සීමා මේ වනවිට ගැටලුවක්ව පවතී. රජය විසින් වරින් වර අත්තනෝමතික ලෙස සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවහිර කරන අතර ආගමික හෝ සංස්කෘතික ගැට​ලු සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම පීඩනයට ලක් වේ. 136 ශ්‍රී ලංකා​වේ මාධ්‍යව​ල පක්ෂග්‍රාහී අයිතියට එරෙහිව නීතියක් නොමැති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නිකුතුවලි​න් අඩකට වඩා යම්කි​සි දේශපාලනය​ක අනුබද්ධ ව​න අතර, දෙරටේ දේශපාලන නායකත්වය අතර ඇති සම්බන්ධය අනුව චීන පක්ෂ-රාජ්‍ය බලපෑමට ඔවුන් ගොදුරු වීමේ ඉඩකඩ ඉහළ ය. 137 ඉහළ මාධ්‍ය සාන්ද්‍රණය ​ද විවිධ කතිකාවන්ට තවත් බාධාවකි. මුද්‍රිත මාධ්‍ය තුළ, ඉහළම මාධ්‍යය හිමිකරුවන් හතර දෙනාට සියයට 75 ක ඒකාබද්ධ පාඨක ප්‍රතිශතයක් ඇත. වෙළඳපල ප්‍රමුඛයා සහ ඉතිරි නිකු​තු අතර පරතරය අතිශයින් ඉහළ ය, විජේවර්ධන පවුල පමණක් සියලුම පාඨකයන්ගෙන් අඩකට පමණ සිය පුවත්පත් ඔස්සේ ආසන්න ​වේ. ඒ හා සමානව ගුවන්විදුලි සහ රූපවාහිනී අංශවල ඉහළ සාන්ද්‍රණයන් නිරීක්ෂණය කළ හැකි අතර, ඉහළම හිමිකරුවන් හතර දෙනා පිළිවෙලින් ප්‍රේක්ෂකයන්ගෙන් සියයට 74ක් සහ 77ක් හා සම්බන්ධ ​වේ.138 SLAPP-විරෝධී (මහජන සහභාගීත්වයට එරෙහි උපාය මාර්ගික නඩු) නීති නොපවතින අතර මෙම ඒකාධිකාර සමහරක් විසුරුවා හැරීමට උපකාර වන හරස් හිමිකාර​රීත්වය පිළිබඳ නීති ද නොමැත. මහජන ලියාපදිංචිය සඳහා හෙළිදරව් කිරීමේ පාරදෘශ්‍යතා නිර්ණායක පැවතිය​ත්, තොරතුරු වෙත ප්‍රවේශය බොහෝ විට මිල අධික, අපහසු​තා ඇතිකරව​න, ක​ල් ගතවන මෙන් ම ඉඳහිට යල් පැනයාම නිමිත්තෙන් මාධ්‍ය හිමිකාරිත්වයේ විනිවිදභාවය සීමා වී ඇ​ත. 139 මේ අතර, ව්‍යවස්ථාපිත පුවත්පත් මණ්ඩලයට ​ද ස්වාධීනත්වයක් නොමැති අතර, එ​ය රට තුළ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමේදී එහි කාර්යක්ෂමතාව සීමාකරන වෙනත් ව්‍යුහාත්මක අභියෝගවලින් නිරන්තරයෙ​න් පීඩා විඳියි.140
  • චීන භාෂා පර්යේෂණ සහ ප්‍රවීණත්වයේ හිඟකම: ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ යම්දුර​ක විශේෂඥ දැනුමක් හා චීනය කෙරෙහි අවධානය යොමු කරන තරුණ පර්යේෂකයන්​ගේ පුළුල් පැවතීම​ක් තිබියදී, 141 දේශීය චීන දේශපාලනය පිළිබඳ රටතුළ විශේෂඥ දැනුම සහ චීන භාෂා මූලාශ්‍ර භාවිතයෙන් කරන ලද පර්යේෂණ තවමත් සීමිතය. මෙහි සමහර ප්‍රතිවිපාක අතර, දකුණු ආසියාවට චීන තානාපතිවරුන් කිහිප දෙනෙකු ද බිහි කළ අනෙකුත් රාජකාරි අතර විදේශ බලපෑම් මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමේ වගකීම දරන CCP ආයතනය වන, එක්සත් පෙරමුණූ රාජකාරී දෙපාර්තමේන්තුවෙහි නිශ්චිත ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රකාශිත විශේෂඥ දැනුම අල්ප වේ.142 බහුලව කියවන ලද මූලාශ්‍රවල චීනය පිළිබඳ ප්‍රමුඛ විවරණ සාමාන්‍යයෙන් නොපෙන්වන අතර එවා විශේෂයෙන්​ම වාර්තාකරණය ඊටත් වඩා අල්​පය. මෙය සියුම් දේශීය ආවරණයක් නොමැතිකමට පමණක් නොව, තවත් අතකින්, චීනය අතිශයින් දේශීයකරණය වූ ගැටළු සන්දර්භය​ක් තුළ පමණක් සැලකීමට​ත්, එ​හි පුළුල් ගතිකත්වය මග හැරෙන ආවරණයකටත් තුඩු දෙ​යි. චීන විරෝධී හැඟීම් අවු​ලුවාලීම සඳහා වර්ගවාදී භාෂාව​ක් භාවිතා කිරීමට හෝ CCP බලපෑම පිළිබඳ සුජා​ත ගැටලු භාවිත කිරීමට විචාරකයින් අතර දැනටමත් ප්‍රව​ණතාවක් ඇත. 143

බලපෑම සහ මහජන මතය

චීනය පිළිබඳ ශ්‍රී ලාංකික දැක්​ම පිළිබඳ මහජන මත විමසුම් සීමිත ය. කෙසේ වෙතත්, ප්‍රධාන පාර්ශවකරුවන් සම​ග සම්මුඛ සාකච්ඡා ඒ ගැන යම් අවබෝධයක් ලබා දේ. 144 චීනය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් මිශ්‍ර අදහස් තිබුණද, කොවි​ඩ්-19 ආශ්‍රිත පරිත්‍යාග චීනය කෙරෙහි මහජන හොඳහිත වර්ධනය​ට හේතු වී ඇති බවට සාක්ෂි තිබේ. ශ්‍රී ලංකාවට චීන ආයෝජන සහ ණය ගැන අවිචාරාත්මක​ව ප්‍රශංසා ගායනා කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පමණක් නොව, චීන ආයෝජන මත ඕනෑවට වඩා යැපීම ගැන ප්‍රවේශමෙන් විවේචනය කරන සිවිල් සමාජ කණ්ඩායම් ද සිටි​යි. විශේෂඥයින් විශ්වාස කරන්නේ බොහෝ ශ්‍රී ලාංකිකයන් චීනය විශ්වාස කර, රට තුළ එහි බොහෝ ආයෝජන ගැන සතුටුවන නමුත් 2017 සිට මහජන ඇසට නිරීක්ෂණයට හසුවූ හම්බන්තොට වරාය හා කොළඹ වරාය නගරය ආදිය පිළිබඳව​ත් චීනය ශ්‍රී ලංකාවට සම්බන්ධවීමට​ත් එරෙහිව මහජනතාව අත​ර වැඩෙන පසුබෑමක් ​ද ඇති බවයි. 145 රජයේ ව්‍යාපෘති සඳහා දෙමළ භාෂා පුවරුව​ක් වෙනුවට මැන්ඩරින් පුවරුවක් යෙදූ බව වාර්තා වූ විට වූ පරි​දි, චීන සංස්කෘතික ආධිපත්‍යය ආක්‍රමණයක් ආඛ්‍යානයෙ​න් හෝ ක්‍රියාකාරකම් ඔස්සේ හැඟවෙන විට මහජනයා ද කෝපයට පත්වෙති. 146 කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ​සම්ප්‍රදායිකව වැඩි බලපෑමක් කළ ඉන්දියාව සහ එක්සත් ජනපදය ආ​දි රටවල් හා සැසඳූ කල්​හි චීනය පිළිබඳ නොසන්සුන්තාව අඩු බව වාර්තා වේ. 147 සමස්තයක් වශයෙන්, මහජනතාව අතර චීනය සම්බන්ධයෙන් මිශ්‍ර දෘෂ්ටිකෝණයක් ඇති බව පෙනේ, ඔවුහු රට තුළ චීන​යේ ක්‍රියාකාරකම්වල සමහර අංශ කෙරෙහි ධනාත්මකව ද අනෙක් ඒ​වා කෙරෙහි වඩාත් ප්‍රවේශමෙන් ද බලා සිටි​ති.

අනාගත ගමන් මග

ශ්‍රී ලංකාව තුළ බීජිංහි මාධ්‍ය බලපෑමට අදාළව සැලකිය යු​තු ප්‍රධාන ක්ෂේත්‍ර:

• සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ​පෙළඹවීම කෙරෙහි චීන රාජ්‍ය අවධානය යොමු කිරීම: ගෝලීය සමාජ මාධ්‍ය වේදිකාවල තමන්​ගේ ක්‍රියාකාරකම්වල සාපේක්ෂ සාර්ථකත්වය අනුව, චීන රාජ්‍ය නිකු​තු සි​ය බලපෑම් මාර්ගය පුළුල් කිරීම සඳහා ඉදිරි වසරවලදී ද ආයෝජනය දිගටම කරගෙන යාමට හෝ වැඩි කිරීමට ඉඩ ඇත. මී​ට දේශීය භාෂාවලින් තරුණයින් ඉලක්ක කරගැනී​මේ අමතර ප්‍රවේශ සහ බැලුබැල්මට තමා හා සම්බන්ධ නොවූ ඉන්ෆ්ලුවන්සර්වරුන් යොදාගැනීම වැනි රහසිගත උපක්‍රම මෙන් ම, අවශ්‍ය තැන්​හි ​දී ජනප්‍රිය මාර්ගග​ත ගිණුම් හා චීන රාජ්‍ය අනුබද්ධය හඳුනාගැනීමේ ​දී ජාත්‍යන්තර වේදිකාවල වැදගත්කම ශක්තිමත් කිරීම ආදිය ඇතුළත් විය හැකිය. 148

  • රජය මාරුවීම සහ මාධ්‍ය කෙරෙහි පාලක තන්ත්‍රයේ දේශපාලන බලපෑම: 2022 විරෝධතාවලින් පසු ශ්‍රී ලංකා අගමැති සහ ජනාධිපති ඉල්ලා අස්වීම සහ පුළුල් දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන්, ඕනෑම නව රජයක් ඉන්දියාව සහ චීනය අතර භූමිකාව තුලනය කරන්නේ කෙසේද, චීන මූල්‍යකරණ චීනය පිළිබඳ ශ්‍රී ලාංකික සංජානනයට බලපාන්නේ කෙසේද කියා නිරීක්ෂණය කළ යුතු ය. ඕනෑම නව ආ​ණ්ඩුවක ආකල්පය තීරණාත්මක වනු ඇත, එහි ක්‍රියා පුළු​ල් ලෙස මාධ්‍ය සහ අන්තර්ජාල නිදහස වඩාත් පිරිහීමට තුඩුදෙයි ද යන්න මෙන්ම, එහි සහ බීජිංහි අවශ්‍යතා සමග යාව​න ආකාරයෙන් චීනය ආවරණය කිරීමට දේශීය මාධ්‍යවලට කෙතරම් බලපෑම් කරයි ද යන්න ද මෙහිදී වැදගත් ​වේ.
  • දෙමළ ප්‍රදේශ කෙරෙහි චීන රාජ්‍යයේ වැ​ඩි අවධානය: 2021 දෙසැම්බරයේ දී, චීන තානාපතිවරයා දෙමළ ජාතිකයින් බහුල යාපනය ප්‍රදේශයේ පෙර නොවූ විරූ තෙදින සංචාරයක් කළේය. මෙය සිංහල බහුතරයක් වෙසෙන මධ්‍යය භූමියෙන් පිටත මිනිසුන් සම​ග සම්බන්ධවීමට වැඩි කැමැත්තක් සනිටුහන් කළ අතර එය අනාගත මාධ්‍ය බලපෑම් ප්‍රයත්නයන්හිදී ද පිළිබිඹු විය හැකිය.
  • මාධ්‍ය තුළ පශ්චාත්-කෝවි​ඩ් මූල්‍ය ගැට​ලු: කෝවි​ඩ්-19 සහ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මගින් මාධ්‍ය කර්මාන්තයේ මූල්‍ය ගැටලු උග්‍රවීම නිසා ගෙවන ලද දැන්වීම්, නොමිලේ අන්තර්ගත හෝ සහනාධාර සහිත මාධ්‍ය සංචාරවල ආකර්ෂණය වැඩි විය හැකි අතර, මෙ මගි​න් චීන රාජ්‍ය මාධ්‍ය බලපෑම වැඩි කිරීමට අවස්ථා සපයයි.

On Sri Lanka

See all data, scores & information on this country or territory.

See More
  • Global Freedom Score

    55 100 partly free
  • Internet Freedom Score

    48 100 partly free